Citizen.lk
 

පාදයක් අහිමි වූ තරුණයකුට මොළය මියගිය අයකුගේ පාදයක් බද්ධ කළ විෂ්මිත සැත්කම සාර්ථකයි

පාදයක් අහිමි වූ තරුණයකුට මොළය මියගිය අයකුගේ පාදයක් බද්ධ කළ  විෂ්මිත සැත්කම සාර්ථකයි  | anuradapura hospital Legs graft surgery success
Tue 07 August 2018 11:43 am
321 views

පසුගිය වසර දෙක තුනක සිට අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ කළ අපූරු සැත්කම් කීපයක් ගැනම අසන්නට ලැබුණි. දැන් ඒ අතරට තවත් විස්මිත සැත්කමක් එකතුවී තිබේ. ඒ හදිසි අනතුරක් නිසා පාදයක් අහිමි වූ තරුණයකුට මොළය මියගිය අයකුගේ පාදයක් බද්ධ කිරීමේ සැත්කමයි.

මෙම සැත්කමට භාජනය වී ඇත්තේ අනුරාධපුර රාජාංගණයේ පදිංචි තිස් දෙහැවිරිදි තරුණයෙකි. ඔහුගේ ඉවත් කෙරුණු පාදය වෙනුවෙන් පාදයක් ලබාදී ඇත්තේ අභ්‍යන්තර ‍ලේ වහනයක් නිසා මොළය මියගිය වයස අවුරුදු පනස් දෙකක අයකුගේ පාදයකි. මෙම සැත්කම ගැන අද දවසේ කතා කළත් මෙම සැත්කම සිදු කර ඇත්තේ පසුගිය වසරේ ජුනි මාසයේදීය. සැත්කම සිදු කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ රුධිර වාහිනී හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරූඩ් චෙල්වම්ය.

සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමක් කළ විට ඒ සඳහා අවම වශයෙන් වසරක කාලයක්වත් නොකඩවා ප්‍රතිකාර ගත යුතු වේ. සැත්කමේ සාර්ථකත්වය මැනගත හැක්කේ ඉන්පසුවය. මතෛක් කලක් මෙම සැත්කම ගැන සෙසු ලෝකයට අනාවරණය නොකෙරුණේ එම සාර්ථකත්වය පිළිබඳව නිසි තක්සේරුවක් ලබාගත යුතු හෙයිනි.

මෙසේ බද්ධ කරනු ලැබූ පාදය පිටස්තර අයකුගේ ආගන්තුක අවයවයක් නිසා සැත්කමට බද්ධ වූ අයගේ සිරුර විසින් නිරන්තරයෙන්ම එය ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක් ඇත්තේය. නිරන්තර වෛද්‍ය නිරීක්ෂණය හා ඖෂධ අවශ්‍ය වන්නේ ඒ නිසාය. දැන් එම ප්‍රතික්ෂේප කරන තත්ත්වය මග හැරී ඇති අතර පාද බද්ධයට ලක් වූ තරුණයා දැන් අනුරාධපුර මහ රෝහ‍ලේ සායනය සඳහා සති පතා පැමිණෙන්නේ පයින් ඇවිදගෙන වීමත් විශේෂත්වයකි.

මෙවැනි පාද බද්ධයක් ශ්‍රී ලංකාවේ සිදුකළ ප්‍රථම සාර්ථක සැත්කමයි. පාදය ලබගත් මොළය මියගිය රෝගියාගේ වකුගඩු දෙකද ලබාදීමට අදාළ රෝගියාගේ ඥාතීන් කැමැත්ත පළ කළ නිසා එම වකුගඩු මහනුවර රෝහලට ලබාදී ඇත.

මෙවැනි පාද බද්ධයක් සිදුකළ පසු රෝගියා විසින් වසරක් පමණ ඒ සඳහා නියම කරන ඖෂධ වලට අමතරව විශේෂ ව්‍යායාම සිදුකළ යුතුය. මේ වන විට මෙම රෝගියා එම කටයුතු සාර්ථකව සිදු කරමින් සුවය ලබමින් සිටී. පැය හතක කාලයක් පුරා සිදුකළ මෙම සැත්කම සඳහා වෛද්‍ය අරූඩ් චෙල්වම් සමග වෛද්‍ය අමිල රත්නායක, වෛද්‍ය නුවනි විජේසිංහ, වෛද්‍ය ලෙවන් කාරියවසම් ඇතුළු කණ්ඩායම එක්වී ඇත.

දැනට ලෝකයේ මෙබඳු පාද බද්ධයන් පහක් සිදු කොට ඇත. 2006 වසරේදී කැනඩාවේ නිවුන් දෙබිඩි දරුවන් දෙදෙනකු වෙන් කරද්දී මියගිය එක් දරුවෙකුගේ පාදයක් අනෙක් දරුවාට බද්ධ කිරීම සිදුකළත් එය අසාර්ථක වී දෙවන දරුවාද පසුව මියගොස් ඇත. 2011 වසරේදී ස්පාඤ්ඤයේදීද පාදයක් බද්ධ කිරීම සිදු කොට ඇත. 2012 දී තුර්කියේදී සිදුකළ සැත්කම් දෙකද අසාර්ථක වී ඇත. 2017 වසරේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේදී සිදුකළ ශල්‍ය කර්මය සාර්ථකවීම වෛද්‍ය විද්‍යාවේ වාර්තාගත ජයග්‍රහණයකි.

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ රුධිර වාහිනි සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරූඩ් චෙල්වම් මීට පෙරද වාර්තාගත සැත්කම් කිහිපයක්ම සිදුකළ අයෙකි. ‍පොළොන්නරුවේ පදිංචි අවුරුදු 45ක පුද්ගලයකුගේ අක්‍රිය වූ අගන්‍යාසය සහ වකුගඩුව යන ඉන්ද්‍රියන් දෙකම එකවර පැය 14 ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ මතෛක් සිදුකළ එවැනි ප්‍රථම ශල්‍යකර්මයයි. මීට අමතර 2016දී වකුගඩු දෙකම එක් අයකුට බද්ධ කිරීමේ වාර්තාගත සැත්කම සිදු කිරීමටද වෛද්‍ය අරූඩ් චෙල්වම් සමත්ව ඇත. අවුරුදු 3 1/2ක කුඩා දරුවකු හදිසියේ මියගිය අවස්ථාවක එම දරුවාගේ වකුගඩු දෙකම එක් පුද්ගලයකුට බද්ධ කිරීම මෙහිදී සිදු කොට ඇත. එස් මතෛක් වාර්තාගත වන ළාබාලතම වකුගඩු පරිත්‍යාගයයි.

පසුගිය වසර 3 1/2ක කාල සීමාව තුළ සාර්ථක වකුගඩු බද්ධ කිරීම් 70ක් පමණ සිදු කොට ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ වෛද්‍ය ජොයෙල් අරූඩ් චෙල්වම් සඳහන් කරයි.රදාලා

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News