Citizen.lk
OPPO
 

හම්බන්තොට පුංචි යුද්දෙන් හිමි නමක් ඇතුළු 23ක් රෝහ‍ලේ

හම්බන්තොට පුංචි යුද්දෙන් හිමි නමක් ඇතුළු 23ක් රෝහ‍ලේ | hambanthota battle 23 people hospitalize
Mon 09 January 2017 11:15 am
129 views

හම්බන්තොට ඉදිකෙරන නව ආයෝජන කලාපයට අයත් ඉඩම් චීනයට පැවරීමට එරෙහිව විරෝධය පා ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීම හේතුවෙන් පුද්ගලයින් 70 දෙනකු ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉන් 51 දෙනකු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (09) සහ හෙට (10) සහ අනිද්දා (11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ එක් හිමිනමක්, ආරක්ෂක අංශ නිලධාරීන් හා සිවිල් වැසියෝ 23 දෙනෙක් හම්බන්තොට මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබති. ඉන් 12 දෙනෙක්ම ආරක්ෂක අංශවල සේවය කරන අය වෙති.

ශ්‍රී ලංකාව හා චීනය එක්ව හම්බන්තොට ඉදිකෙරෙන අක්කර 15,000කින් යුතු නව ආයෝජන කලාපයේ සමාරම්භක උත්සවය පැවැති පෙරේදා (7) එහි ඉඩම් චීනයට පැවරීමට විරුද්ධ පිරිස් හා සමාරම්භක උත්සවයට පැමිණි පිරිස් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා උත්සව භූමි ප්‍රදේශයේ සිට අම්බලන්තොට නගරය දක්වාම දැඩි උණසුම්කාරී තත්ත්වයක් ඇති විය.

හම්බන්තොට මිරිජ්ජවිල ආරම්භ කෙරෙන චීන ශ්‍රී ලංකා කර්මාන්තපුරය පසුගිය 07 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබිණි.

චීනයට හම්බන්තොට මාගම්පුර වරාය විකිණීම හා කර්මාන්තපුරය සඳහා හම්බන්තොටින් ඉඩම් අක්කර 15000ක් අත්පත් කර ගැනීමට එරෙහිව පසුගිය දින කිහිපය තුළදීම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ විරෝධතා පෙළපාළි මෙන්ම උද්ඝෝෂණ පැවැත්විණි.

දිස්ත්‍රික්කය තුළ මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය 06 දින සිට දින 14 ක කාලයක් හම්බන්තොට ප්‍රදේශයේ තෝරාගත් ස්ථාන 06 ක උද්ඝෝෂණ, පෙළපාළි, රැස්වීම් පැවැත්වීම හා ඊට නායකත්වය දීම තහනම් කරමින් හම්බන්තොට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා විසින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබිණි. මෙම නියෝගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුළු වගඋත්තරකරුවන් 26 දෙනෙකුට නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් කර්මාන්තපුරයේ සමාරම්භක උත්සවය පැවති පසුගිය 07 දින දිස්ත්‍රික්කය පුරා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තබිණි. ප්‍රධාන මාර්ගයන් සියල්ලටම මාර්ග බාධක යොදා දැඩි පරීක්ෂාවකින් පසු ධාවන කටයුතු සිදුකිරීමටද සිදුවිය. පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන කණ්ඩායම්, කඳුළු ගෑස් බට පිරිස් හා පොලිසිය උත්සව භූමිය වටා හා මාර්ගයන්වල යොදවා තිබිණි.

කර්මාන්තපුරය සඳහා හම්බන්තොටින් ඉඩම් අක්කර 15000ක් ලබාගැනීමට විරෝධය පළකරමින් හම්බන්තොට දිස්ත්‍රික් මාගම්පුර ඒකාබද්ධ භික්ෂු සංසදය විසින් උත්සවභූමිය පැවැත්වෙන ස්ථානයට ගොස් සංඝ ආඥාවක් ලබා දීම සඳහා කටයුතු සූදානම් කර තිබුණත් දිස්ත්‍රික්කය පුරා යොදවා තිබූ පොලිස් ආරක්ෂාවත් නිසාත් මාර්ගයන් වසා තිබීම නිසාත් ජනතාවට ඒකරාශී වීමට නොහැකි විය. එහෙත් විවිධ ස්ථානයන්හි ඒකරාශී වූ ස්වාමීන් වහන්සේලා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ජනතාව කැලෑබද ප්‍රදේශ හරහා උත්සව භූමිය පැවැත්වෙන ස්ථානය වෙත පැමිණීමත් සමගම ඔවුන්ව වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් මාර්ගය හරහා බස් රථ හරස් කරමින් ඔවුන්ගේ ගමන් මගට බාධා කළහ. බාධක මධ්‍යයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසී ජනතාව උත්සව භූමිය අසලටම ගමන් කළහ. කෙසේවෙතත් පොලිසිය හා විශේෂ කාර්යබළකා නිලධාරීන්ගේ මැදිහත්වීම මත මඳ වෙලාවකට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට හැකිවිය.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ මැදිහත්වීම මත විරෝධතාවට එක් වූ පිරිස මාර්ගය මත හිඳගෙන ස්වාමීන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කර තම ආඥාවක් වගකිවයුතු පුද්ගලයකු වෙත භාරදීමෙන් පසු ඉවත්වීමට කටයුතු කරමින් සිටියහ. එම අවස්ථාවේදී උත්සවය සඳහා සහභාගි වී සිටි පිරිසගෙන් එල්ල වූ ගල් ප්‍රහාරය නිසා දෙපිරිස අතර දැඩි උණසුම් කාරී තත්ත්වයක් උද්ගත විය.

දෙපිරිස අතර ඇතිවෙන ගල් ප්‍රහාර හමුවේ නිලධාරීන්ට එය පාලනය කිරීමට අසීරු තත්ත්වයක් උද්ගතවීම නිසා අධි පීඩන ජලප්‍රහාර යොදා ගනිමින් දෙපිරිස විසුරුවා හැරීමට නිලධාරීන්ට සිදු විය. ජල ප්‍රහාර හා කඳුළු ගෑස් යොදාගනිමින් පැය 03ක පමණ කාලයක වෙහෙසක් දරා උත්සව භූමිය අවටින් විරෝධතාකරුවන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන්ට හැකිවිය. එහෙත් දෙපිරිස අතර ඇති වූ ගැටුම් නිසා ආරක්ෂක නිලධාරීහු බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.

උත්සව භූමිය අසලින් විරෝධතාකරුවන් ඉවත්කිරීමට නිලධාරීන්ට හැකි වුවත් ඉන් පසුව සංවිධානාත්මක වූ තවත් පිරිස් අම්බලන්තොට මිරිජ්ජවිල සිට අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශය දක්වා කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ස්ථාන කිහිපයකම ටයර් පුළුස්සමින් වීදුරු කටු කැබලි, ගල් මුල් ආදිය මාර්ගයට ඇද දමා මාර්ග බාධක ඇති කිරීම නිසා කිසිදු වාහනයකට මාර්ගයේ ගමන් කිරීමට නොහැකි විය.

හම්බන්තොට කර්මාන්තපුරය ආරම්භ කිරීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන අම්බලන්තොට නගරයේ පාලම අසලින් පෙරේදා (07) උදෑසන 9.00 ට පමණ ආරම්භ කෙරිණි.

දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ඔවුන් නගරයේ ඉන්ධන පිරවුම්හල අසල තිබූ පොලිස් මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් හා විරෝධතාකරුවන් අතර කලබලකාරී තත්ත්වයක් ඇතිවිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක ඇතුළු කණ්ඩායම පැමිණීමත් සමග පොලිස් මාර්ග බාධක නොතකා විරෝධතාකරුවෝ හම්බන්තොට දෙසට ගමන් ආරම්භ කළහ.

අම්බලන්තොට දෙහිගහලන්ද පාලම අසලදී පොලිස් මාර්ග බාධක යොදා ඒ පිටුපස ජලප්‍රහාරක රථ දෙකක් හා පොලිස් ප්‍රහාරක බළඇණියක් හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කර තිබිණි.

අධිකරණය මගින් නිකුත් කර තිබූ තහනම් නියෝගය පිළිබඳව ඉදිරියට පැමිණෙන විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් විසින් දැනුවත් කළද ඔවුහු එය නොසලකා අම්බලන්තොට දෙහිගහලන්ද පාලම අසලට පැමිණ භික්ෂූන් වහන්සේලා සමග පැය භාගයක පමණ කාලයක් විරෝධතාව දැක්වූහ. හදිසියේ මාර්ග බාධක පෙරළමින් ඉදිරියට යාමට තැත් කිරීම නිසා ඔවුන් විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවිය.
විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් දෙසට ගල් ප්‍රහාර එල්ල කළ අතර ඉන් පොලිස් ජිප් රථයකට හා වෙළෙඳසලක් අසල නතර කර තිබූ වෑන් රථයක ඉදිරිපස වීදුරුවලට හානි සිදුවිය. කලබලකාරී තත්ත්වය පැවති අවස්ථාවේ හම්බන්තොට දෙසට යාමට පැමිණි නාවික හමුදා බස් රථයකටද ප්‍රහාර එල්ල වීම නිසා එම නිලධාරීන්ද අපහසුතාවට පත්විය. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හර්ෂ ජයවීර මහතා හා තවත් පුද්ගලයෙක් පොලිසිය විසින් එම ස්ථානයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
විරෝධතාකරුවන් විසුරුවාහැරීමෙන් අනතුරුව අම්බලන්තොට නගරය දෙසට පසුබසිමින් ටයර් හා ලී කොට ගිනි තබා මාර්ගය අවහිර කළ අතර මේ හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුවිය. අම්බලන්තොට නගරය මධ්‍යයේදී නුවර එළියේ සිට ගාල්ල බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් විරෝධතාකරුවන් බලෙන් නතර කර එහි සිටි විදේශීය ජාතිකයන් ඇතුළු මගීන් බස් රථයෙන් බස්සවා මාර්ගය හරස් කර බස් රථය නතර කර එහි ටයර් කිහිපයක හුළං යැවීම නිසා මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාළ විය.

අම්බලන්තොට නගරය පුරා ස්ථාන කිහිපයක ටයර් පිලිස්සීම හා කොට දමා මාර්ගය අවහිර කිරීම නිසා පොලිස් කැරලි මර්දන නිලධාරීන්ට අවස්ථා කිහිපයකදීම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ ඔවුන් පලවා හැරීමට සිදු විය. අම්බලන්තොට නගරයේ සිට නෝනගම දක්වා මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ තැනින් තැන ගිනි තැබීම් නිසා පස්වරු 6.30 පමණ වන තෙක් මාර්ගයේ ගමනාගමනය අඩාළ විය.

පොලිසිය විසින් විරෝධතාකරුවන් පලවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරිම නිසා මිරිජ්ජවිල හංදියේ සිට අම්බලන්තොට දක්වා අවට පිහිටි නිවෙස්වල ජනතාවටද දැඩි පීඩාවකට මුහුණ දීමට සිදු වීය. කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමගින් අම්බලන්තොට ඇතුළු අවට ප්‍රදේශය එකම යුද පිටියක් බවට පත්ව තිබිණි.

මෙම ගැටුමින් 23 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් 11 දෙනෙකුම පොලිස් නිලධාරී හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය. එමෙන්ම විරෝධතාවයේ නිරත 52 දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 23 දෙනෙකු හම්බන්තොට මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු අද (09) හා 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

කෙසේ වුවද නොසන්සුන්තාව මධ්‍යයේ ආයෝජන කලාප ව්‍යාපෘතියේ වැඩ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

Latest News

You may also like

Latest Videos