Citizen.lk
 
 

උඹේ ජීවිතේ බේරගන්නවා කියලා මම රුවන්ට පොරොන්දු වුණා - එයාවත් කරේ තියාගෙන ගොඩට පීනගෙන එන්න හැදුවා - ජීවිතේ මුහුණදුන් ත්‍රාසජනකම අත්දැකීම ගැන චාලක කියයි

 උඹේ ජීවිතේ බේරගන්නවා කියලා මම රුවන්ට පොරොන්දු වුණා - එයාවත් කරේ තියාගෙන ගොඩට පීනගෙන එන්න හැදුවා - ජීවිතේ මුහුණදුන් ත්‍රාසජනකම අත්දැකීම ගැන චාලක කියයි | Man Swim & Save Life Galle
Mon 04 December 2017 8:46 am
6,103 views

පසුගියදා දොඩන්දූව ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් අයහපත් කාලගුණය හේතුවෙන් පෙරළී ගොස් එහි සිටි ධීවරයෙකු මියගියා. මේ අතර එහි සිටි තවත් එක් ධීවරයෙකු පෙරලුණු බෝට්ටුවෙන් පැන දිවි බේරාගෙන ගොඩ බිමට පීනා ඒමට සමත් වුණා. ඔහු තමන්ගේ සගයාගේද ජීවිතය බේරන්නට වෙහෙසුණු අයුරු සිද්ධියෙන් පසු ගොඩබිමට පැමිණ ඔහු විස්තර කර තිබුණේ මේ අයුරින්......

දොඩන්දූව ධීවර වරායෙන් රුවනුත් එක්ක එදා හවස 5.30 විතර වල්ලමෙන් අපි මුහුදු යන්න පිටත් වුණා. ඒ වෙද්දි කුණාටුවක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියෙ නෑ. කොහොම හරි කිලෝමීටර් 7ක් විතර මුහුදේ යද්දි එක පාරටම කුණාටුවක් ආවා. ඒ නිසා අපි ඔරුව ආයෙත් හරවගන්න හිතලා අනිත් පැත්තට අපි ආවා. පැය 2ක් විතර අපි රැල්ල එක්ක පොර බැද්දා. හික්කඩුව වරායට තිබ්බේ මීටර් 50ක් විතර. ඒත් එක පාරටම ලයිට් ගියා. මොකුත් පෙන්නේ නෑ, බෝට්ටුව ගල් පරේ වදිවි කියලා අපිට බය හිතුණා. ඒ නිසා ආයෙත් අපි මුහුද පැත්තට බෝට්ටුව පැද්දා. ඒත් එකපාරටම ලොකු මරියාවක වැදිලා බෝට්ටුවේ එන්ජිම නතර වුණා. කොච්චර උත්සාහ කළත් ඒක ස්ටාර්ට් වුණේ නෑ.

තිබ්බ මාලු දැල මුහුදට දාලා බෝට්ටුව ගහගෙන යන එක නතර කරන්න හැදුවා. ඒත් හරිගියේ නෑ. ගල් නැංගුරමත් දැම්මා. ඒකත් කැඩිලා ගියා. හුළගේ සැරට මුහුදු රැල්ලට ඒවා එකක්වත් ඔරොත්තු දුන්නේ නෑ. පස්සේ බෝට්ටුව දන්නේම නැතුම අම්බලන්ගොඩ පැත්තට පාවෙලා ගියා.

ඔය අතරේ තමයි ඌරවත්ත පාලමට මෙහා මාදැල් වරාය හරියෙදි ඔරුව එක පාරටම පෙරළිලා ගියේ. රුවන් ලයිෆ් ජැකට් එක දාගෙන හිටියේ. එයාට මං තරම් පීනන්න බෑ. අනික ජැකට් එක ඇඳගෙනත් පීනන්න බෑ. දෙන්නම බෝට්ටුව අල්ලගෙන විනාඩි 10ක් විතර හිටියා. ගොඩබිම පෙනි පෙනී තිබ්බේ. ඒ නිසා මම රුවන්වත් අල්ලගෙන ගොඩට පීනනන්න පටන් ගත්තා. වැල්ලේ කකුල් වැදෙන තරමට අපි ඇවිත් හිටගත්තා. ඒත් එක්කම ලොකු රැල්ලක් ඇවිත් අපිව විසිවෙලා ගියා. රුවන් මුහුද පැත්තට විසිවුණා. මම ගොඩට විසිවුණා. මම වැල්ලේ වාඩිවෙලා රැවන් කියලා කෑ ගැහුවා. ඒත් හොයාගන්න බැරිවුණා. මගේ වෙලාවට තවත් දෙන්නෙක් ටෝච් එකක් අරගෙන අපේ ළඟට ආවා. ඒ අය රුවන්ව අරන් රෝහලට යන්න හැදුවා. පාරේ හැමතැනම ගස් කඩාගෙන වැටිලා. ඒ නිසා ගමන පරක්කු වුණා. මගේ එක අතකට තුවාල වෙලා තිබුණේ. කොහොම හරි රෝහලට අරන් යද්දි රුවන් නැතිවෙලා.

රුවන් අවුරුදු 3ක විතර ඉඳන් මගෙන් එක්ක මුහුදු යන රස්සාව කලේ. මම අන්තිම මොහොතෙත් කීවේ බය නොවී හිටපන් උඹේ ජීවිතය බේරගන්න මම පොරොන්දු වෙනවා කියලා. ඒත් මම කොච්චර උත්සාහ කළත් රුවන්ගේ ජීවිතේ බේරගන්න බැරිවුණා. මම මගේ ජීවිතේ මේ වගේ භයානක අත්දැකීමට මුහුණ දුන්නු පළවෙනි වතාව තමයි මේ..

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News