Citizen.lk
 

ජූනියර් සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ වාඩිවෙනකොට ගොඩක් දෙනෙක් කිව්වා කවුද මේ අභිෂේකා එයා මොනවද දන්නේ කියලා එහෙම විවේචනය කරපු අයම අද මාව අගය කරනවා

ජූනියර් සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ වාඩිවෙනකොට ගොඩක්  දෙනෙක් කිව්වා කවුද මේ අභිෂේකා එයා මොනවද දන්නේ කියලා  එහෙම විවේචනය කරපු අයම අද මාව අගය කරනවා   | abhisheka wimalaweera nissara song
Thu 11 January 2018 4:12 pm
7,561 views

අභිෂේකා විමලවීර, දැන් කවුරුත් දන්න ජනප්‍රිය චරිතයක් එයට හේතුව තමයි ඇය සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහනේ විනිශ්චවරියක් ලෙස කටයුතු කිරීම, ජුනීයර් සුපර් ස්ටාර් වලින් හැමෝම කතා කරන අභිෂේකා ගැන තවත් කතා බහක් ඇති වෙලා ඒ ඇය විසින් නිර්මාණය කරපු නිස්සාර නම් ගීතය නිසා, ලංකාවේ ඉහළ ප්‍රතිචාර ලබමින් you tube ට්‍රෙන්ඩින් පළමු තැනට ආව ගුණාත්මක නිර්මාණය ගැන දැන් හැමෝම කතා කරනවා. නිස්සාරය නිසා අභිෂේකාගේ ජීවිතයට අළුත් වෙනස් වෙලා ඉතින් ඒ වැනස ගැන අභිෂේකා කියන්නේ මේ විදිහටයි.

‘නිස්සාර’ නිසා ලබන ප්‍රතිචාර ගැන මුලින්ම කියමු?
ජීවිතේ මම මීට කලින් කරපු කිසිම දේකට නොලබපු තරම් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ප්‍රතිචාරවල සීමාවක් නෑ. වෙන් කරන්නත් බෑ. මොකද නිස්සාර වැලඳගෙන, තමන්ගේ කරගෙන රසවිඳින පිරිස අති මහත්. අපි මේ සින්දුව වෙනුවෙන් උපරිම මහන්සිවෙලා වැඩ කළා. ඉතින් ගොඩක් සතුටුයි අද ලැබෙන මේ ප්‍රතිචාරවලට. සමහර අයට කතා කරන්න බැරිව අඬන අවස්ථාත් තියෙනවා. ඒ තරමට නිස්සාර හිතට, හදවතටම වැදිලා තියෙන්නේ.

කොහොමද මේ ගීතය කරන්න පසුබිම සැකසෙන්නේ?
නිස්සාර ලියැවෙන්නේ මීට වසර දෙක හමාරකට විතර ඉස්සර මගේ තාත්තා මදාරා නමින් චිත්‍රපටයක් කරන්න හිටියා. ඒ වෙනුවෙනුයි නිස්සාර ලියැවුණේ. තාත්තා කැමැතිම ගීතය තමයි නිස්සාර. හැබැයි තාත්තා නැති වුණා. ඉතින් මදාරත් එහෙමම නැවතුණා. නමුත් ඉස්සරහට චිත්‍රපටයක් කරන්න සූදානමක් තියෙනවා. ඉතින් තාත්තගේ හීනය වුණු නිස්සාර එයා නැතිවුණු දවසට ඒ කියන්නේ තාත්තා අපෙන් වෙන්වෙලා අවුරුද්දක් පිරෙන දවසටයි එළියට දෙන්න හිතුවේ.

නමුත් ලංකාවේ අපි හිතන විදිය අනුව මම ඒ තීරණය වෙනස් කරලා ‍පොඩි ෆේස්බුක් ජනප්‍රියත්වයකුත් එක්ක දෙසැම්බර් 20 යූටියුබ් චැනල් එක හරහා නිස්සාර රස විඳින්න අවස්ථාව ලබාදුන්නා.

සෑහෙන කාලෙකට පස්සේ කරපු පළමු ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි ලැබෙන ප්‍රතිචාර ගැන නම්. මම හොඳටම විශ්වාස කරන දෙයක් තමයි මේ ගීතය පිටිපස්සේ ලොකු බලවේගයක් තියෙනවා. ඒ වෙන කවුරුත් ‍නෙවෙයි මගේ තාත්තගේ ආශිර්වාදය. මොකද 20 මම සින්දුව යූටියුබ් දානකොට ගොඩක් අය කියපු දෙයක් තමයි ඒ දවසට තවත් වීඩියෝ යූටියුබ් දාන්න සූදානම් නිසා නිස්සාර යට යයි කියන දේ. හැබැයි මගේ හිත කිව්වා අනිවාර්යයෙන්ම එදාටම නිස්සාර පිට කරන්න කියන දේ. ඉතින් යූටියුබ් හරහා විශාල ප්‍රතිචාර ලැබුණා. ෆේස්බුක් ආදී හැම අතින්ම නිස්සාර ඉදිරියෙන්ම ඉන්නවා.

වචනවලට ගැළපෙන වීඩියෝව ගැනත් කතා කරමු?
පිටපත් හයකින් පස්සේ නිස්සාර සඳහාම ගැළපෙන හත්වැනි පිටපත විදිහටයි මම මේ කතාව තෝරාගත්තේ. ඉතින් නිස්සාර සඳහා හරියනම වීඩියෝ එක විදිහට අන්තිමට අපේ තීරණය සාර්ථකයි කියලා දැන් සතුටු වෙන්න පුළුවන්. චමිල් අයියා, මම, දිළුම් අපි තුන්දෙනාම ආදරෙන් කරපු නිස්සාර අද මෙච්චර මිනිසුන්ගේ ආදරේ ලබනකොට ඒ සතුට ගැන අපිට කියන්න වචන එකතු කරගන්න අමාරුයි.

මෙහි රංගනයේ යෙදෙන දෙදෙනා ගැනත් කතා නොකරම බෑ නේද?
අනිවාර්යයෙන්ම ඒ දෙන්නා ගැන කතා කළ යුතුමයි. මේ වීඩියෝව සඳහා මට ඕන වුණේ එක්කෝ උපරිම දක්ෂතාව හා ජනප්‍රියත්වය තියෙන දෙන්නෙක් නැතිනම් අලුත් මුහුණු දෙකක්. ඉතින් එතැනදි අපේ තේරීම වුණේ කපිල් සහ මනෝජා. මනෝජාගේ කොණ්ඩෙත් කපිල්ගේ රැවුලත් හරි ලස්සනට සංයෝජනය වෙලා වෙනස්ම විදියේ සාර්ථක නිර්මාණයක් එළියට ආවා. ඒ ගැන තමයි ගොඩක්ම අද කතා වෙන්නෙත්.

ඇයි මේ වගේ තේමාවකට ගීතයක් කරන්න හිතුවේ?
කතා හයකින් මගේ තේරීම තමයි මේ. ඉතින් නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා ආදරෙන්. මේ ගීතය හැමෝගේම කතාව. හැමෝගේම ජීවිතවල මෙහෙම ආදරයක් තියෙනවා. මෙහෙම කියන්න කතාවක් තියෙනවා. ලෝකෙට හිනාවෙලා හදවතින් අඬන හැමෝගෙම කතාව තමයි නිස්සාර. මං හිතනවා හැමෝම නිස්සාර තමන්ගේ කරගන්නේ තමන්ගේ ගොඩක් නිස්සාර ඇතුළේ තිබෙන නිසාම වෙන්න ඇති.

වර්තමානයේ ඇහෙන ගීතවලට වඩා වෙනස් වචන ටිකක් ලියැවිලා තියෙනවා?
නිස්සාර වචනවලට පවා ආදරේ කරන පිරිසක් අද මගෙත් එක්ක ඉන්නවා. ඇත්තටම මේ වචන මගේ. ඉතින් මටත් ඕන වුණේ වෙනස් දෙයක් කරන්න. මගේ තාත්තා කැමතිම සින්දුව තමයි නිස්සාර. මේ වචනත් ලොකු බලවේගයක් නිස්සාර මෙච්චර ප්‍රතිචාර ලබන්න.

සමාජ ජාලාවන්ගේ හැසිරීම ගැනත් යමක් කියන්න ඇති නේද?
මම ජූනියර් සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ වාඩිවෙනකොට ගොඩක් දෙනෙක් කිව්වා කවුද මේ අභිෂේකා එයා මොනවද දන්නේ ආදී ලෙස විවිධ කතා. හැබැයි එහෙම මාව විවේචනය කරපු අයම අද මාව අගය කරනවා. නිස්සාර අගය කරනවා. එක වැරදි කොමන්ට් එකක්වත් නැති සින්දුව සමහර විට නිස්සාර වෙන්න ඇති. ඉතින් අපේ ප්‍රේක්ෂකයෝ, රසිකයෝ හරි බුද්ධිමත්. ඔවුන් ගැන මට ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්.

ජූනියර් සුපර් ස්ටාර් හරහා ලබන ජනප්‍රියත්වයත් ගීතයේ ජනප්‍රියත්වයට හේතුවුණු කියලා කීවොත්?
අනිවාර්යයෙන්ම හේතුවක් වුණා. ඒ නිසා මම සිරසට විශේෂයෙන් ස්තුති කරන්න ඕන. මොකද අභිෂේකා කවුද කියලා මිනිස්සු හොයන තැනට මාව ගෙනාවේ සිරස. ඊට පස්සේ මට ලැබෙන විවේචන හෝ පැසසුම් එක්ක නිස්සාර එළියට ආවාම ඒ වටා විශාල පිරිසක් එකතු වෙනවා. නිස්සාර ආදරයෙන් වැලඳ ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ජූනියර් සුපර් ස්ටාර්ත් හේතුවක් වුණා නිස්සාර මෙච්චර සාර වෙන්න.

නිස්සාර ඔබ රසිකයෙක් විදිහට රස විඳිනකොට මොකද හිතුණේ? තෘප්තිමත්ද?
කලාකරුවා කවදාවත් කිසිම දේකින් තෘප්තිමත් වෙන විදිහේ කෙනෙක් නම් ‍නෙවෙයි. ඉතින් මමත් එහෙමයි. මටත් හිතෙනවා යම් යම් තැන් තව මීට වඩා මට කරන්න තිබුණා නේද කියලා. හැබැයි ලැයෙන ප්‍රතිචාර එක්ක බලනකොට නම් ගොඩක් සතුටුයි. ගොඩක් තෘප්තිමත්. නිස්සාර සාර්ථකයි කියලා හිතෙනවා.

නිස්සාර සාර කරපු ඒ කණ්ඩායම ගැනත් කියමු නේද?
අනිවාර්යයෙන්ම නිස්සාර කියන්නේ තනි මගේ සාර්ථකත්වයක් හෝ උත්සාහයක් ‍නෙවෙයි. මේක අපේ සාර්ථකත්වය, අපේ උත්සාහයේ ප්‍රතිඵලය. ඉතින් ගායනය, වචන මගේ. සංගීතය දිළුම් තේජන, වීඩියෝ එක කළේ චමිල් අයියා. ඒ වගේම කපිල් සහ මනෝජා තමයි මෙහි රංගනයේ යෙදෙන්නේ. ඊට අමතරව මේ වීඩියෝ එක සඳහා අවශ්‍ය පසුබිම, ඒ චිත්‍ර හැම දෙයක්ම එකතු කරලා සාර්ථක කරගන්න මාත් එක්ක එකතුවුණ හැමෝම මම මතක් කරන්න ඕන. කැමරා, ලයිට් මේ හැම දෙයක්ම සඳහා මාත් එක්ක අත්වැල් බැඳගත් හැමෝටම ස්තුතියි. ඒ වගේම මිනෝෂාන් අයියාවත් මතක් කළ යුතුමයි. අපි හැමෝගේම එකතුවක් තමයි නිස්සාර.

Latest News

You may also like

Latest Videos

Hot Video

mr 1 video | ලංකීය දේශපාලන බල පෙරළිය විශේෂ වාර්තාමය වැඩසටහන

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News