Citizen.lk
Citizen News Line
 

එදා කොණ්‌ඩ කැවුමක්‌ උයා ගන්නට බැරි තරුණියක්‌ දීග දෙන්නට බෑ - අපේ සිංහල අවුරුදු කෑම මේසය

එදා කොණ්‌ඩ කැවුමක්‌ උයා ගන්නට බැරි තරුණියක්‌ දීග දෙන්නට බෑ - අපේ සිංහල  අවුරුදු කෑම මේසය | awurudu kama mesaya
Sat 14 April 2018 8:43 am
196 views

 

සිංහල අවුරුද්ද චිරාත් කාලයක සිට අපේ ජාතික මහා මංගල්‍යය වුවත් මේ වන විට අප සිංහල අවුරුද්දටද කටයුතු කරන්නේ අපට වුවමනා හෝ අපට ගැලපෙන ආකාරයට නොවේ. අද බොහෝ දෙනා සිංහල අවුරුද්ද සලකන්නේ බටහිර පන්නයට කා බී ජොලි කිරීමට ලැබෙන නිවාඩු දින කීපයක්‌ ලෙස පමණි. බොහෝ දෙනා ඊට වඩා යමක්‌ කරනවා නම් ඒ කාලයකට පසු තමන්ගේ ගම් රටවල් බලා ගොස්‌ හැරෙන තැපෑලෙන් ආපසු ඒම පමණයි.

එදා සිංහල අවුරුද්දට සිංහල සිරිතට විරිතට අනුව හැදුණේ සිංහල කැවිලි පෙවිලිය. හෙළ බොදු සිරිතට අනුව ගෙදර පිසුණේ සිංහල කෑමය. සිංහල අවුරුද්ද කිට්‌ටු වීමත් සමග කොහාගේ මිහිරි නාදය පමණක්‌ නොව කැවුම් කොකිස්‌ බැදෙන සුවඳ ද ගම්මානය කුල්මත් කළේය.

එදා අපේ අවුරුදු කෑම මේසයේද අවුරුදු සමයේ නෑගම් යාමේදීද කිරිබත්, කැවුම්, කොකිස්‌, මුංගුලි, අග්ගලා, වැලිතලප, අලුවා, පැණි වළලු ආදිය අනිවාර්ය අංග විය.

සොබාදහමේ මහඟු දායාදයක්‌ වන කෙසෙල් ගෙඩි විශිෂ්ට පලතුරක්‌ ලෙස එම කැවිලි පෙවිලිවල වටිනාකම තවත් ඔප් නැංවීය. කැවුම් වර්ගම රාශියක්‌ තිබීම සිංහලයාගේ නිර්මාණශීලීභාවය පිළිබඳ කදිම නිදසුනකි. ඇත්ත වශයෙන්ම මුං කැවුම් පෝෂණ විද්‍යාත්මකව විශිෂ්ට සොයා ගැනීමක්‌ වෙයි. එබැවින් මුං කැවුම් පිළිබඳ වෙනම ලිපියක්‌ ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙමු.

එදා අප අවුරුදු සමයේ ප්‍රධාන වේල් ලෙස පිසගත්තේද හත් මාළුව, කජු මාළුව, මුං ඇට ව්‍යංජනය, පලා මැල්ලුම, කොස්‌, දෙල්, අල, බතල ආදිය ඇතුළත් වස විස නැති ඉතා පෝෂ්‍යදායී පරගැති නොවන වත්තෙන්, ගෙවත්තෙන්, හේනෙන්, කුඹුරෙන්, බඩවැටියෙන්, දෙනියෙන් සපයා ගත් ආහාර ප්‍රභවවලින් පිස ගන්නා සත්ත්ව ඝාතනය සහ හිංසනයද පිටුදකින විශිෂ්ට ආහාර වේලකි. බත උයාගන්නේද, ආසනික්‌, කැඩ්මියම් ඇතුළු වස විස නැති සුවඳැල්, මඩතවාලු වැනි දේශීය වී වගාකොට තමාගේම කුඹුරෙන් නැවුම්ව ලබාගත් වී වලින් ගෙදරම කොටාගත් සහල්වලිනි. එදා අවුරුදු එළඹුණේ හෙළ ගොවියාගේ ගොවිතැන් සරු වී අස්‌වැන්න ගෙට ගෙන අටු කොටු පිරී ඇති තත්ත්වයක්‌ තුළයි.

අවශ්‍ය තෙල් ලබාගන්නේ ගෙදර වත්තේ හිඳින ගස්‌වලින් ලබාගෙන ගෙදරම හිඳගත් පොල්වලිනි. පැණි ලබාගත්තේ සුදු සීනි දියකර නොවේ. කිතුල් පැණි, පොල් පැණි, බඹර පැණි ආදි සෞඛ්‍යයට හානිකර නොවන පැණි වර්ග අපි එදා භාවිතා කළෙමු. රසකාරක ලෙස භාවිතා කළේ කුරුඳු පොතු, ගම්මිරිස්‌, රම්පේ, කරපිංචා, ගොරකා, එනසාල් ආදී දේශීය කුළු බඩු මිස විෂ රසායනිකය, සෝස්‌, සීසනින් පවුඩර් හෝ සුප්කැට නොවේ.

එහෙත් නූතනත්වයේ අනිවාර්ය පහසු ගොදුරක්‌ බවට පත් වී සිටින නූතන ගෘහය ඒ සියලු යහගුණ රැගත් සාම්ප්‍රදායික ආහාරද ඒවා පිළියෙල කිරීමට යොදාගත් දේශීය ආහාර ප්‍රභවද ඒවා පිළියෙල කරන්නට අපට උදව් කළ වංගෙඩිය, මෝල් ගහ, කුල්ල, කුරහන් ගල, හිරමනය, පෙනේරය, දර ළිප ආදියද ඉතා අකාරුණික ලෙස ඉවත දමා ඇත. ඉවත දමන ලද අව්වට වේලෙමින් වැස්‌සට තෙමෙමින් දිරාපත් වී යන එම මහඟු උපකරණ අද විස්‌සෝපයෙන් බලා සිටින්නේ බටහිර කොල්ලකරුවන්ගේ ගොදුරක්‌ බවට පත් වී විනාශ වන තමන්ට අකාරුණික වු සිංහලයාගේ ඉරණම දෙසය.

කැවුම්, කොකිස්‌, කිරිබත් වෙනුවට අද නුතන ගෘහණියගේ අවුරුදු කෑම මේසය සරසන්නේ කේක්‌, බිස්‌කට්‌, රෝල්ස්‌, කිරිටොපි, පුඩිං, සොසේජස්‌, මීට්‌බෝල්ස්‌ ආදී බටහිරයන්ගේ කෑම වලිනි. එදා "කොණ්‌ඩ කැවුමක්‌ උයා ගන්නට බැරි තරුණියක්‌ දීග දෙන්නට බෑ" යනුවෙන් කියමනක්‌ පැවතුණි.

එහෙත් අද කාන්තාවන් විසින් කොණ්‌ඩ කැවුම් ඉවීම ආදී ඉහළ මානසික සංයමයක්‌ ඇති අයට පමණක්‌ කළ හැකි දේවල් දැනගෙන සිටීම පවා සලකන්නේ මදි පුංචිකමක්‌ හැටියටයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි ලැඡ්ජාවට කාරණයක්‌ හැටියටයි. අද කාන්තාවන් මහත් උජාරුවට පත්වෙමින් තමා මහා හපන්කමක්‌ කරනවා යෑයි සිතන්නේ කේක්‌ සෑදීම, පුඩිං සෑදීම, ප්‍රයිඩ් රයිස්‌ සෑදීම, සොසේජස්‌ බැදීම ආදිය පිළිබඳවයි. නුතන සමාජය විසින් කාන්තාවන් දැනගත යුතු දේවල් ලෙස සිතන්නේද ඒවාමයි.

එපමණක් නොව සිංහල අවුරුදු සමය රටේ වැඩියෙන්ම සත්ත්ව ඝාතනය වන සමයක්‌ ලෙසත්, අරක්‌කු ඇතුළු මත් වතුර වැඩියෙන්ම අලෙවි වන සමය ලෙසත්, වැඩියෙන්ම කල කෝලාහල ඇති කර ගන්නා සමය ලෙසත්, වැඩියෙන්ම අනතුරු සිදු කරගෙන ජිවිත අකාලයේ වනසා ගන්නා සමය ලෙසත් වාර්තාගත වීම කොතරම් ඛේදවාචකයක්‌ද?

මෙම තත්ත්වයන් දෙස විමසිල්ලෙන් බැලූ විට අපට පෙනී යන්නේ එදා ඉහළම හැකියාවක්‌, හැදියාවක්‌ සහ සංයමයක්‌ තිබු සිංහල කුල කාන්තාවට අද ඒ සියල්ල අහිමි කර දමා ඇය සකලාකාරයෙන් රෝගී බවට පත් කර දරිද්‍රතාවයට ඇද දමා තිබෙන ආකාරයයි. හෙළයා ලෝකයා ඉදිරියේ නිවට, බෙලහීන, පරාධීන මිනිසෙකු කර තමන් විසින්ම අකාලයේ වැනසෙන්නෙකු බවට පත් කර ඇති ආකාරයයි.

ඉතිං අපි මේ මව්බිමේ යළි ඔදවත්, තෙදවත්, අභිමානවත් ජාතියක්‌ බවට පත් වීමට නම් මෙම අඳුරු අගාධයෙන් වහා ගොඩ ආ යුතු වෙමු. ඒ සඳහා අපි රටක්‌ ජාතියක්‌ ලෙස සියලුම දෙනා එකාවන්ව එක්‌ව ඉතා ජවසම්පන්න පියවරක්‌ තබමින් මෙවර සිංහල අලුත් අවුරුද්දට පහත සඳහන් පරිදි කටයුතු කරමු.

මෙවර සිංහල අවුරුද්දට අපේ මුතුන් මිත්තන් අපට දායාද කර ඇති අපේ කැවිලි පෙවිලි සහ ආහාර පාන පමණක්‌ හදමු. අවුරුදු කෑම මේසය ඒවායින් සරසා ගෙන අවුරුදු සිරිත් පිළිපදිමු.

බුලත් හුරුල්ලක්‌ සමග නෑගම් යැමට අපේ කැවිලි පෙවිලි පමණක්‌ භාවිතා කරමු.

අපේ කැවිලි පෙවිලි සහ හත්මාළුව ආදී ආහාර පාන සාදාගැනීම ගැන අපට අහිමි කරමින් තිබෙන වටිනා දැනුම පාදාගෙන එසේම යළි ඔප්නංවාගෙන අනාගත පරපුරට දායාද කිරීම සඳහා සුරක්‍ෂිත කර ගනිමු.

අවුරුදු සමයේ ප්‍රධාන ආහාර වේල්ද සත්ත්ව ඝාතනය හා හිංසනය පිටුදකින සුවල් ආදී දේශීය සහල්, මුං කොල්ලු ආදී දේශීය පියලි වර්ග, දේශීය පලා සහ එළවළු, කොස්‌, කොස්‌ ඇට සහ දේශීය අල වර්ග, ගෙවත්තෙන් ලබාගන්නා පොල් සහ දේශීය කුළුබඩු ආදියෙන් පමණක්‌ සකස්‌ කර ගනිමු.

ප්‍රධාන වේලෙන් පසු අතුරුපස ලෙස කෙසෙල්, පැපොල්, අඹ, අන්නාසි ආදී දේශීය පලතුරු වර්ග පමණක්‌ භාවිතා කරමු.

අවුරුදු සමයේ වැඩිම විනාශයක්‌ සිදු කරන මත් දියර භාවිතයෙන් සපුරා වැළකී සිට පවුලේ සැවොම සමග එක්‌ව සැබෑ අවුරුදු ප්‍රීතිය භුක්‌ති විඳිමු.

ඔබට සුබ අලුත් අවුරුද්දක්‌ම වේවා!

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News