ශ්‍රී ලංකාව තුළ ගිනිකෙළි කර්මාන්තයට ඉතා දිගු ඉතිහාසයක් නැති බැව් පෙනීයයි. ශ්‍රී ලංකාවේ විවිධ විදේශ පාලනයන් තිබූ සමයන්හිදී රතිඤ්ඤා සහ විවිධ ගිනිකෙළි වර්ග විදෙස් රටවලින් ආනයනය කර ඇති බවට ඉතිහාස තොරතුරු ඇත. එහෙත් පසුව ශ්‍රී ලංකාව තුළ ද ගිනිකෙළි කර්මාන්තයක් බිහි වී ඇත. එය කෙසේ සිදුවීද?
ඉතිහාස කතා සොයා බැලීමේදී දැනගත හැක්කේ අපූරු කතාන්දරයකි. එනම් ගිනිකෙළි කර්මාන්තයට ප්‍රකට වූ චීන ජාතිකයන් පිරිසක් මෙයට වසර 80කට පමණ පෙර මීගමුවේ කිඹුලාපිටිය නම් ප්‍රදේශයේ ගම්වැසියන් පිරිසකට ගිනිකෙළි නිෂ්පාදනය උගන්වා ඇත. ඊට පසුව ගම්වැසියන් එම කටයුතු කර්මාන්තයක් වශයෙන් සිදුකර ඇත. එසේම දීර්ඝ කාලීනව පිය, පුතු හා මුණුබුරු වශයෙන් එම ගිනිකෙළි කර්මාන්තය පරම්පරාවෙන්, පරම්පරාවට සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇත. අද ශ්‍රී ලංකාවේ ගිනිකෙළි කර්මාන්තය සිදුකෙරෙන ප්‍රධානතම සහ එකම ප්‍රදේශය වන්නේ මෙම කිඹුලාපිටියයි.
කිඹුලාපිටිය ගමේ 90කම වැසියන්ගේ ජීවන වෘත්තිය වන්නේ රතිඤ්ඤා නිපදවීමේ කර්මාන්තයයි. එනම් එම ගමේ පවුල් ඒකක 10,000කටත් අධිකව මෙම කර්මාන්තයෙහි නිරත වී සිටිති. එක් පවුලක සාමාජිකයන් කිහිප දෙනකු බැගින් මෙම පිරිස 2,00,000 (ලක්ෂ දෙකක්) ඉක්මවා යති. මේ අනුව කිඹුලාපිටිය ගමේ රතිඤ්ඤා කර්මාන්තයට වසර 80-90ක පමණ ඉතිහාසයක් ඇත. එසේම කිඹුලාපිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ ගිනිකෙළි කර්මාන්තශාලා මෙන්ම මහා පරිමාණ කර්මාන්තශාලාද වෙති. මෙම ප්‍රමාණය 700කට අධික බැව් වාර්තා වෙයි.
ඉතාමත් බියකරු, අනතුරුදායක වෘත්තියක් වන ගිනිකෙළි නිෂ්පාදනය නිසා කිඹුලාපිටිය ග්‍රාමයේ ජීවිත පවා හානි වූ පිරිස අති විශාලය. එමෙන්ම දෙනෙත් අන්ධවීම, ශරීර ඉන්ද්‍රියන්ට හානිවීම ආදී සිදුවීම් ද රාශියක් වාර්තා වී ඇත. එකවර මරණ කිහිපයක් අනතුරු පවා වාර්තා විණි. එහෙත් කුමන බියකරු තත්ත්වයක් තිබුණ ද එම කර්මාන්තය කිසිදු විටෙක නොනැවතී ඉදිරියටම යයි.
විදෙස් ගිනිකෙළි කර්මාන්ත වලට රක්ෂණයක් අනිවාර්ය වූවත් රක්ෂණයක් ගන්නට යැයි හඬ හඬා අප පසුපසඑන රක්ෂණ සමාගම් කිසිවක් කිඹුලාපිටිය ගමේ අහලකටවත් නොයන බව දැනගන්නට ලැබුනි.