Citizen.lk
 

2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාවක් - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්

2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාවක් - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් | akila viraj kariyawasam
Wed 16 May 2018 9:44 am
344 views

 


සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා රටේ කිසිඳු දරුවෙකුට උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බවත්, වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින්, 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්.

විභාගයක් යනු මතකය මැනබැලෙන එක් ක්‍රමයක් වන හෙයින් දරුවන්ගේ අනාගතය ඒ මත තීරණය කරනු වෙනුවට පිරුණු හැකියාවන්ගෙන් යුත් මානව සම්පත් ගොඩනැඟිය හැකි තැනක් බවට පාසල් පරිවර්තනය කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සම්බන්ධ ව විවිධ විවේචන, චෝදනා, මතවාද පැවතියත්,ලොව පිළිගත් අධ්‍යාපනඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් සහ නිර්දේශ ඇසුරෙන් මෙම ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාත්මක කළ බවත් මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය..

අනාගත රැකියා වෙළඳ පොළ අවශ්‍යතා වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවත්, එම වෙනස්වීම්වලට ගැළපෙන පරිදි වෘත්තීය හැකියාවන් සන්නද්ධ කරගත් දරුවන් ඉදිරියේ දී පාසල් පද්ධතියෙන් බිහිකළ යුතුව පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා විවර කරදෙමින් නව වෘත්තීය විෂයයන් 26ක් සහිත ව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙනවා. මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී පාසල් 42ක සිසුන් 4000කට අධික සංඛ්‍යාවකට ‍වෘත්තීය විෂයධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණු අතර, දෙවැනි අදියරේ දී පාසල් 150ක සිසුන් 14000කට අධික පිරිසකට මෙම අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියලු පළාත් සහ සියලු අධ්‍යාපන කලාප නියෝජනය වන පරිදි තෝරාගත්, පාසල් 192 ක මේ වසර වනවිට මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා ගුරුවරුන් 2100ක් මේ වනවිටත් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් එම ගුරුවරුන් පුහුණුකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි. මෙම වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3600 ක් වෙන් කර ඇති අතර පන්ති කාමර පහසුකම්, ගොඩනැගිලි පහසුකම් සහ ප්‍රමාණවත් ගුරුවරුන් සම්බන්ධව මතුවන ගැටළු සහ අභියෝගවලට ඒ හරහා විසඳුම් ලබාදිය හැකි බව ද අමාත්‍යවරයා මෙම හමුවේ දී පැහැදිලි කළා.

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News