Citizen.lk
 

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන තම 37 වන සංවත්සරය සපුරයි

 ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන තම 37 වන සංවත්සරය සපුරයි | SOS Children’s Villages Sri Lanka celebrates 37 years
Tue 10 July 2018 4:33 pm
816 views

ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මෙම වසරේදී තම 37 වන සංවත්සරය සපුරයි. ‘37 වසරක සෙනෙහස - ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් අද දවසේ අත්වැල් බැඳගනිමු’ යන තේමාව යටතේ එය සැමරීමට එම සංවිධානය කටයුතු කළේ ය.

කිසිදු දරුවෙකු හුදෙකලා නොවිය යුතු අතර, ඔහු හෝ ඇයට ස්ථාවර සහ සෙනෙහෙබර පවුල් පසුබිමක හැදීවැඞීමට අවස්ථාව තිබිය යුතු බව ශ‍්‍රී ලංකාවේSOS ළමා ගම්මාන වැඩසටහන විශ්වාස කරයි. මෙම ආයතනය විකල්ප රැකවරණය ලබාදෙන ආයතනයක් වුවද ඉතාමත් සුවිශේෂී, පවුලේ සත්කාරයට සමාන සත්කාරයක් ලබාදීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කර ඇත. දරුවන් සමාජය තුළ යහපත් පුරවැසියන් බවට පත්කරවීමට නම් ඔවුන් තුළ ධෛර්යය, කැපවීම, විශ්වාසය සහ වගකීම්සහගත බව වැනි ගුණාංග නිර්මාණය කළ යුතු බව මෙම ආයතනයේ විශ්වාසය වේ.

පසුගිය වසර 37 තුළ ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සඳහා අරමුදල් සපයන ලද්දේ ප‍්‍රධාන වශයෙන් යුරෝපය ඇතුළු රටවල ධානපතියන් විසිනි. එහෙත් මේ වනවිට ශ‍්‍රී ලංකාව ආසියාවේ මධ්‍යම ප‍්‍රමාණයේ ආදායම් ලබන රටක් ලෙස සැලකෙන නිසා ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ප‍්‍රධාන සංවිධානය මෙරටට සපයන ආධාර අවම කරමින්, ආසියාවේ සහ අනිකුත් කලාප වල දරිද්‍රතාවෙන් පෙළෙන රටවල් වෙත එම ආධාර යොමුකරවීම ආරම්භ කර ඇත. මෙම පසුබිම මත ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මේ වනවිට දේශීය පුද්ගලයන් සහ සමාගම් වෙතින් ආධාර සපයා ගනිමින්, තමන් මෙතෙක් ලබාදුන් සත්කාරය නොවෙනස්ව පවත්වාගෙන යාම සඳහා උත්සාහ කරමින් සිටී.

රට තුළ දශක 3 කට අධික කාලයක් පැවති සිවිල් යුද්ධය නිසා පරම්පරා කිහිපයකට අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අවස්ථාවන් අහිමි විය. මේ නිසා වයස අවුරුදු 16 ට වැඩි කාණ්ඩය තුළ වෘත්තීය අංශයෙන් විශාල වශයෙන් ගැටලූ මතුවී තිබේ. මීට පිළියමක් වශයෙන්, අඩු ආදායම් ලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන තුළ පුහුණුව ලැබීමේ අවස්ථාව සලසා දීමට ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන කටයුතු කර තිබේ. යාපනයේ වෘත්තීය පුහුණු වැඩසටහන 2018 ජූනි මාසයේදී ආරම්භ කරන ලද අතර රටේ වෘත්තීය අවශ්‍යතා හඳුනාගනිමින්, වායුසමීකරණ අලූත්වැඩියාව, ඉංග‍්‍රීසි භාෂාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ රූපලාවණ්‍ය සේවා වැනි අංශ සම්බන්ධ පුහුණු වැඩසටහන් 2018 ජූනි 10 වන දින ආරම්භ කෙරිණි. දරිද්‍රතාව නිසා අධ්‍යාපන අවස්ථා අහිමිවීම සහ දෙමාපිය රැකවරණය අහිමිවීම වැළැක්වීමට මෙම වැඩසටහන දීර්ඝකාලීනව දායක වනු ඇත. මෙම නවතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයත් සමග ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 4 ක් පිහිටුවා තිබේ.

ලොව පුරා සෑම දරුවන් 10 දෙදෙනකුට එක් අයෙකු, එනම් දරුවන් මිලියන් 220 ක් පමණ ප‍්‍රමාණවත් තරම් රැකවරණයක් සහ අත්වැලක් නොමැතිව හැදීවැඩෙති. ලොව දරුවන්ගේ යහපත වෙනුවෙන් ක‍්‍රියාත්මක වන විශාලතම පුණ්‍යාධාර වැඩසටහන වන SOS ළමා ගම්මාන වැඩසටහන මෙබඳු දරුවන්ගේ සුභසිද්ධිය උදාකිරීම සඳහා කැපවී සිටී. පවුල් සහය හා සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය මධ්‍යස්ථාන හා පාසල් ආදිය පවත්වාගෙන යාම සහ හදිසි අවස්ථාවලදී සහනාධාර සැපයීම වැනි ක‍්‍රම ඔස්සේ ලොව පුරා දරුවන් මිලියන ගණනකගේ ජීවිත වඩාත් යහපත් කිරීමට එම වැඩසටහනට හැකියාව ලැබී ඇත.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News